Log in

updated 9:58 AM UTC, Feb 23, 2020
Headlines:
A+ A A-

``මිනිහෝ උඹ මහ බූරුවෙක්!`` ගිනි නිවන භටයෙක් අගමැතිට කියයි!!

Aus z

ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය බලයේ සිටියදී දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමටත්, කාබන් විමෝචනය අඩු කිරීමටත් ආරම්භ කළ සියලු ව්‍යාපෘතීන් ලිබරල් පක්ෂය නවතා දැමුවා. ඒ කෙටිකාලීන ආර්ථික වර්ධන අරමුණු අතින් ගත් කල ඒවා වියදම් අධික වූ නිසා. ඊට සමගාමීව ඔස්ට්‍රේලියානු ගිනි නිවන හමුදාව නවීකරණයට අලුතෙන් යෙදවිය යුතු මුදල්ද යෙදවුණේ නෑ.

ඔස්ට්‍රේලියාවේ මෙවර ග්‍රීස්ම සෘතුව අන් කවරදාකටවත් වඩා බියකරුයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්ම වූ දින ගණන අන් වසරවලට වඩා බෙහෙවින් ඉහලයි. එසේම පසුගිය සැප්තැම්බරයේ සිටම ඔස්ට්‍රේලියානු වනාන්තර ගිනි ගන්නවා. මෙවර ඒ ගිනි යාබද ගම් නගරවලට කඩා පැන්නේ අනුකම්පා විරහිතවයි. නිවාස,කඩසාප්පු සිය ගණනක් සමග මිනිස් ජීවිත 20ක් පමණ දැනට ගින්නට බිලි වී සිටිනවා. බිලියන බාගයක් පමණ වන සතුන් මිය යන්නට ඇතැයි අනුමාන කරනවා.

මේ මොහොතෙත් මෙල්බර්න් හා සිඩ්නි නුවර යා කර දිවෙන මහා මාර්ගය අතර මැද පිහිටි කුඩා ගම් නගර ගිනිගෙන දැවෙනවා. දෙපැත්තෙන්ම සැපයුම් මාර්ග අවහිර වී දහසක් පමණ වෙරල තීරයේ කොටු වී සිටිනවා. මේ මොහොතේ නාවුක හමුදා නැව් හා බෝට්ටු මගින් ඔවුන්ව මුදාගැනීමේ මෙහෙයුම් සිදු වෙනවා. රට මැදට වන්නට පිහිටි ගින්නෙන් කොටු වූ කුඩා නගර වෙත ගුවන් හමුදාවේ බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා යවා තිබෙනවා.

ඒත් බහුතර ජනතාවක් සිතන්නේ අගමැති මොරිසන් මේ ආපදාව පාලනය කිරීමට මුලදී ප්‍රමාණවත් උත්සාහයක් නොදැරූ බවයි. විශේෂයෙන්ම මීට සති කිහිපයකට පෙර සිඩ්නි නුවර දුමාරයෙන් වැසී යද්දී ඔහු හවායි නුවර නිවාඩුවක් ගත කිරීමට යාම ජනතාවගේ කෝපයට හේතු වූවා. දැන් ඔහු කරන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසන්නට යාමයි.

ඊයේ දිනයේ ඔහු ගින්නට මැදි වූ කුඩා නගරයක කොටු වී සිටින ජනතාවගේ සුව දුක් බැලීමට ගිය මොහොතේ ජනතාව ඔහුට බැන වැදී පන්නා ගත්තා. නගරයේ ගිනි නිවන භටයෝ ඔහුට අතට අත දීම ප්‍රතික්ෂේප කළා. "මිනිහෝ උඹ මහ බූරුවෙක්" යැයි අයෙක් ඔහුගේ මුහුණටම පැවසුවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පලාතේ මන්ත්‍රීවරයාටත් ජනතාවගේ පැත්ත ගෙන අගමැතිවරයා විවේචනය කරන්නට සිදු වූවා.

විපක්ෂ නායකවරයා පසුගිය නොවැම්බරයේදී ලැව් ගිනිවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් අගමැතිවරයාට යොමු කර තිබුණත් ඔහු එයට වැඩි අවධානයක් යොමු කර තිබුණේ නැහැ. එහෙත් අලුතෙන් මතු වී ඇති තත්ත්වය යටතේ ඔහු එහි ඇතැම් යෝජනා ක්‍රියාත්මක කරන්නට පටන් අරන්.

මේ එළඹෙන සෙනසුරාදා අපට තීරණාත්මක දිනයක්. දැඩි උෂ්ණත්වයක් සමග දැඩි සුළං තත්ත්වයක් ඇති වන දිනයක්. දැනටමත් සිඩ්නි හා මෙල්බර්න් නගර තිබෙන නිව් සවුත් වේල්ස් හා විකටෝරියා ප්‍රාන්තවල හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. යුරොපයේ බොහෝ රටවල්වලටත් වඩා භූමි ප්‍රදේශයෙන් විශාල භූමියක වෙසෙන ජනයා සෙනසුරාදාට පෙර බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමේ මහා මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙනවා.

| තිලින මලලසේකර | ඕස්ට්‍රේලියාවේ සිට | 2020 ජනවාරි 03 | 

(comrade.lk )

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif