Log in

updated 9:58 AM UTC, Feb 23, 2020
Headlines:
A+ A A-

වේදිකාවේ ගුරුතරුව මනෝරත්නයන් සමුගනී!

Mano

සම්මානනීය කලාකරු ජයලත් මනෝරත්නයන් ජීවන රඟ මඩලින් සමුගනී. පසුගිය මාස කිහිපයෙහි රෝගාතුරුව සිටි හෙතෙම අද (12) අලුයම මියයන විට 71 හැවිරිදි වියේ පසුවිය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 71 කි.

ඔහුදේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුව, රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළහ.

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය ඇතුළු සෑම අංශයකින්ම එක ලෙස ප්‍රතිභාව දැක්වූ ඔහු 1948 වසරේදී නුවරඑළිය, දෙහිපේ නම් ගම්මානයේ උපත ලැබුවේ ය.

පාසල් වියේදීම වේදිකාවට අත්පොත් තැබූ ජයලත් මනෝරත්න මහතා සරසවි ජීවිතයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගුරුහරුකම් ලැබීමත් සමග එහි කූටප්‍රාප්තියට ළඟා විය.

පේරාදෙණිය සරසවියේ දෙවන වසරේදී ප්‍රේමතී ජායතී සෝකෝ නාට්‍යයට සම්බන්ධ වූ මනෝරත්නයන් වෙස්සන්තර, කදාවළලු, එලොව ගිහින් මෙලොව ආවා සරච්චන්ද්‍ර නාට්‍ය රැසකටම සිය රංගන දායකත්වය ලබා දුන්නේ ය.

ජයලත් මනෝරත්නයන් තම වේදිකා නාට්‍ය නිර්මාණාවලිය ආරම්භ කරන්නේ මහගිරිදඹ වේදිකා නාට්‍යයෙනි.

මනෝරත්නයන් වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය කරන අතර එම සියලු නාට්‍යය මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සන්ධිස්ථාන මංසලකුණු සනිටුහන් කිරීමට සමත් විණි.

අන්දරේලා, ගුරුතරුව, තල මල පිපිලා, පුත්‍ර සමාගම, සොක්‍රටීස් යන නාට්‍ය නිර්මාණ ජයලත් මනෝරත්නයන් විසින් මෙරට ප්‍රේක්ෂකයින්ට දායාද කළ විශිෂ්ට කෘති ලෙස අදටත් සම්භාවනාවට පාත්‍ර විය.

1976 වර්ෂයේදී ටයිටස් තොටවත්තයන්ගේ හදයා චිත්‍රපටයෙන් සිනමා දිවියට පිවිසි මනෝරත්නයන් එතැන් සිට සිය රංගන ප්‍රතිභාවෙන් හැඩ කළ චිත්‍රපට සංඛ්‍යාව 40 කට අධිකයි.

හඳයා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනළ තටු, හිරිපොද වැස්ස, බඹර වලල්ල මෙන්ම ප්‍රවේගය, හෝගානා පොකුණ, සූම්, ඒලෙවල් සහ ගෝල් ජයලත් මනෝරත්න සිය රංග ප්‍රතිභාව විදහා දැක්වූ ජනප්‍රිය චිත්‍රපටවලින් කිහිපයකි.

පුංචි තිරයේ ද ටෙලි නාට්‍ය රැසක් ඔහුගේ රංගන කෞශල්‍යයෙන් ඔපවත් විය. ටෙලිනාට්‍ය 35 කට අධික සංඛ්‍යාවකට ද මනෝරත්නයන් සිය රංග දායකත්වය ලබාදී ඇත.

බෝඩිම, දූදරුවෝ, මඩොල්දූව, වීදුරුමල්, සහ කන්දෙගෙදර යන රසික සිත්සතන් දිනාගත් ටෙලිනාට්‍යවලද ඔහු සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළේය.

හොඳම වේදිකා නළුවා, ටෙලි නාට්‍ය නළුවා මෙන්ම හොඳම චිත්‍රපට නළුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත්‍ර වූ මනෝරත්නයන් ස්වකීය වේදිකා නිර්මාණ රැසකටම රාජ්‍ය සම්මාන දිනා ගත්තේ ය.

1979 දී යුග දිවියට පිවිසි මනෝරත්නයන්ට බානුක සහ ඉන්දීවරී නම් පුතෙකු සහ දියණියක ද වේ.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif