Log in

updated 6:32 PM UTC, Aug 4, 2020
Headlines:
A+ A A-

'රට හදන විරුවා' රාජපක්ෂ ප්‍රෝඩාවක්! 2015ට පෙර පැවති ආණ්ඩුවම නැවතත්!!

Mahinda Gotabaya

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම විවිධ පක්ෂවලින් නාමයෝජනා පත්‍ර සකස්කරමින් පවතින අතරේ අසන්නට දකින්නට ලැබෙන තොරතුරු කියාපාන්නේ අපේ රටේ අනාගතය එතරම් සුබ නැති වගය. ඒ් නිසාම ‌අනාගතය නැවත සාපරාධී විගඩමක් ‌වීමේ හැකියාව ඉදිරි මහමැතිවරණ ප්‍රතිඵලය හරහා රටට උරුම කිරීමට නියමිත ය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරන්නට යැයි කියා එදා විවිධ සටන් පාඨ සමාජගත කරද්දී අප ඊට එරෙහිව 'මේ කරන්නේ බොරුවක් යැයි' කී විට බොහෝ රාජපක්ෂවාදීහු අපට සුද්ද සිංහලෙන් ඇමතූ වග මතකය.

නමුත් ‌නොවැම්බර් 16 එකාවන්ව එක්සිත්ව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරලූ‌යේ අනාගත සුබ සිහින දුටු 69 ලක්ෂයක් ජනතාව නැවුම් බලාපොරොත්තු පෙරදැරි කරගෙන වුවද අද ඒ ජනතාව රෑ වැටුණු වලේම දහවලේ ද වැටී ඇත්තේය.

එදා රාජපක්ෂවරුන්ගේ පන්සල් බොරුවලට වහවැටුණු මිනිසුන් අදටත් ඔවුන් විශ්වාස කරනවා යැයි රාජපක්ෂවරු දන්නා නිසාම නාමයෝජනා පත්‍ර සකස් කරන්නේ ද තමන් කියන දෙයකට එහෙයි කියන්නන් පිරිසගෙන් වග සටහන් කළ යුතුමය. මන්ද වියත්මග නම් වූ උගත් බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක් විශ්වාස කරගෙන සිටි 69 ලක්ෂයක් ජනතාවට ඉදිරි මැතිවරණයේ දී නැවතත් සිය ඡන්දය ලබාදිය යුත්තේ පරණ නම්දරාපු හොර මැර, දූෂිත මහත්වරුන්ට බව රාජපක්ෂවරු අද තීරණය කර ඇති නිසාය.

වියතුන් පිරි ඇමති මණ්ඩලයක්, උගත් බුද්ධිමත් පිරිසකගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක් යනු එදා රාජපක්ෂවරු බලය වෙනුවෙන් ජනතාව මුලාවේ දැමීමට කළ තවත් එක් ප්‍රෝඩාවක් බව දැන් ඔවුන්ම තහවුරු කර හමාරය.

225ම එපා කිව්වේද, වියතුන් 100ක් පත්කළ යුතු බව කීවේද රාජපක්ෂවාදී මාධ්‍ය විසින්මය. ජනාධිපතිවරණය ජයගත් පසු ඒ කතා දැන් හරියන්නේ නැති වග කීවේද ඔවුන්මය. අවසානයේ පරණ නඩයම අලුත් වටයකින් නැවත කැඳවාගෙන ඒමට කටයුතු කර ඇත.

 

2015 පෙර රාජපක්ෂ ආණ්ඩුව

ලොකෙන් කොන්කරපු රටක් ලෙස කිසිදු පිළිගැනීමක් නැති තැනකට ලංකාව පත්කරපු, GSP සහනය රටට අහිමි කරපු, යුරෝපීය මත්ස්‍ය තහනම කැඳවා ගත්තු, රටට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණ ගෙන්වා ගත්තු රාජපක්ෂලාගේ විදේශ ප්‍රතිපත්තිය ඔබට මතකද?

බංකොලොත් ආර්ථිකයක් රටට ඉතිරි කරපු, උපදින්න බලාගෙන ඉන්න පරම්පරාවත් ලෝකෙට ණයකාරයන් කරපු, සංදර්ශන සංවර්ධන විජ්ජාවෙන් රටම මංමුලා කරපු රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය ඔබට මතකද?

ඉන්ධන මිල අඩුකරන්න යැයි කියපු හලාවත ඇන්ටනීලා මරපු, වතුරු ඉල්ලා හඬද්දි රතුපස්වල මිනිසුන් මරපු, EPF එක අවභාවිත කරන්න එපා කියපු රොෂේන් චානකලාට වෙඩි තියපු, රාජපක්ෂලාගේ දූෂණ ක්‍රියා පිළිබඳ හෙළිකළ ලසන්තලා වැනි මාධ්‍යවේදීන් මරපු, කප්පම් ගැනීමට අහිසංක මිනිසුන් අතුරුදන් කරපු එදා රාජපක්ෂලාගේ රාජ්‍ය පාලනය ඔබට මතකද?

තැන තැන මාධ්‍යකරුවන් අතුරුදන් කරපු, රාජ්‍ය නිලධාරීන් ගස් බැඳපු, ලිස්ට් එක බලාගෙන වැලිකඩ සිරකරුවන් මරලා දාපු, රගර් ක්‍රීඩක තාජුඩීන්ලා මරපු, නඩු නැතුව මිනිසුන් සිරකරුවන් කරපු, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬනගපු ලලිත් කූගන්ලා අතුරුදන් කරපු, බලහත්කාරී දින 52දි ප්‍රජාතන්තවාදයට මිරිස්කුඩු ගහපු ඒ් රාජපක්ෂ පාලනයේ මානව හිමිකම් සුරක්ෂිත කළ අපූරුව ඔබට මතකද?

දේශප්‍රේමීත්වයේ සලුව පොරවාගත් එදා රාජපක්ෂවරු රටට ශේෂ කළ නටඹුන් අතර ඩේසි ආච්චිගේ මැණික් මල්ල, සිරිලිය ගිනුම, කාල්ටන් සොහොන, නාමල්ගේ උපාධිය, අයිතිකරුවන් නැති දේපළ, හඳට යැවූ රොකට්ටුව පමණක් නොව රට පුරා උසාවිවල රාජපක්ෂවරුන්ට සහ එහෙයින්ට එරෙහිව ගොඩගැසුණු නඩු කන්ද ඔබට මතකද? මිග්, ක්‍රිස්, හෙජින්, ග්‍රීක් බොන්ඩ්, ගවර්ස් කෝපරේට්, මිහින්, ඇවන්ගාඩ්, මාගම්පුර පොර්ට් පමණක් නොව මගනැගුම පවා ඒ වංචා දූෂණ අතරින් ටිකක් පමණය.

දෙකෙන් දෙක බෙදාගන්න බැරි ඉංජිනේරු ඇමතිවරු හිටපු, බේබිලා දැක්කම පුටුවෙන් නැගිට්ටෙන කැබිනට් ඇමතිවරු හිටපු, අල්ලස ජීවිකාව කරගත් මහ ඇමතිවරු හිටපු, ස්ත්‍රී දූෂණයේ ශතකපූරණය උත්සවශ්‍රීයෙන් සව්දිය පුරපු ප්‍රදේශීය නායකයෝ හිටපු, අවසානයේ සෙල්ලම් පිස්තෝල විගඩම් නටපු එවැනි පාලනයක් තුළ මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම මරි මෝඩකමකි.

 

අදට වඩා හෙට හොඳ වෙයිද?

අද බඩු මිල බලන්න කඩවල්ගානේ යන ජනාධිපති කෙනෙක් ඉන්න, තමන්ගේ බැරකමට අනෙකාට පලිගහන අගමැති කෙනෙක් ඉන්න, පන්සල්ගානේ යන මුදල් ඇමති කෙනෙක් ඉන්න, සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලවත් නොදන්න සෞඛ්‍ය ඇමතිලා ඉන්න, ජීවන වියදම අහස උසට යද්දි ආර්ථික පර්යේෂණ ඒ්කක බෝඩ් ලෑල්ලට මුවාවෙලා නංදොඩවන වයිමගේ පුත්තු ඉන්න ආණ්ඩුවකින් මීට වඩා මොනවා කරන්නද?

ඉදිරි මහ මැතිවරණයෙන් පත්වෙන්නෙත් මේ අයම නම් ඉතින් රටට අබසරණයි කියන්න තමයි වෙන්නෙ. වැටට අල්ලලා අඹුඩේ ගහපු ගමරාළට වගේ රට රකින විරුවාට කිසිවක් කරන්න වෙන්නෙ නැත. මහින්දගේ දෑත් ශක්තිමත් වන හැටි බලාඉන්නවා හැර.

- ධනුජ හිරුෂාන් 

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif